නෛතික පසුබිම
වී අලෙවි මණ්ඩලය 1971 අංක 14 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරන ලද රජයේ ආයතනයකි.
විධිනියෝගය
වී අලෙවි මණ්ඩලයේ විධිනියෝගය වනුයේ,
- වී සහ සහල් මිලයට ගැනීමේ, විකිණීමේ, සැපයීමේ හා බෙදාහැරීමේ කටයුතු පවත්වා ගෙන යාම.
- සහල් කෙටීමේ කටයුතු සහ ක්‍රියාදාමය පවත්වා ගෙන යාම.
- ඉහත (අ) හා (ආ) ජේදයන්හි සඳහන් කර ඇති අරමුණු සපුරා ගැනීමට ආනුෂංගික හෝ උපකාරී වන වෙනත් කවර හෝ කාර්යයක් පවත්වාගෙන යාම.
- මණ්ඩලයේ අදහස අනුව සිය කාර්යයන් නිසි පරිදි පවත්වා ගෙන යාමට පහසුකම් සැපයීම පිණිස අවශ්‍ය අනෙකුත් සියලු කාර්යයන් කිරීම.
ආයතනික ඉතිහාසය
1948 - 1971 කාල පරිච්ඡේදය
සහතික මිල ක්‍රමයක් යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා රජය වී මිලයට ගන්නා ලදී.
1972 - 1978 කාල පරිච්ඡේදය
වී මිලයට ගැනීම, ගබඩා කිරීම, කෙටීම යන කාර්යයන් 1972 වසරේදී වී අලෙවි මණ්ඩලය විසින් පවරා ගන්නා ලදී. වී පිරිසැකසීම සඳහා පුද්ගලික වී මෝල් හිමිකරුවන්ගේ සේවය කුලියට ලබාගත් වී අලෙවි මණ්ඩලය වෙනුවෙන් සමුපකාර සමිති ගොවීන්ගෙන් වී එක්රැස් කරගනු ලැබීය. වී මෝල් කරුවන් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට සහල් බාරදුන් අතර අනතුරුව සලාක ක්‍රමය යටතේ පාරිභෝගිකයන් හට බෙදාහැරීම පිණිස එම දෙපාර්තමේන්තුව මගින් ඒවා සමූපකාර සමිති වෙත ලබාදෙන ලදී. එසේම එක් එක් කලාපයේ ඇති කලාපීය ගබඩා යොදා ගනිමින් "අතිරේක තොග" පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් ද වී අලෙවි මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලැබීය.
1978 - 2000 කාල පරිච්ඡේදය
1977 දී ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්ති හඳුන්වාදීමත් සමගින් වී/සහල් අලෙවිකිරීමේ රජයේ කාර්ය භාරය වෙනසකට ලක් වුණි. වී අලෙවි මණ්ඩල පනතට 1978 වසරේදී සිදුකළ සංශෝධනයක් මගින් තරඟකාරි පදනමක් යටතේ සහල් වෙළඳාමට සම්බන්ධ වීමට පුද්ගලික අංශයට ඉඩ දෙන ලදී. එමගින් ඇතිවූ දැඩි තරඟකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස, වී මිලයට ගැනීමේ රජයේ වෙළඳපොළ කොටස විශාල ලෙස පහත වැටුණි. වන්දි ගෙවා සේවකයන් 2,560 දෙනෙකුගේ සේවය අත්හිටුවීම හේතුවෙන් ඇති වූ උග්‍ර සේවක හිඟය හමුවේ 1990 දී වී අලෙවි මණ්ඩලය අකර්මණ්‍ය විය. වී අලෙවි මණ්ඩලය අහෝසි කිරීම සඳහා 2000 අප්‍රේල් මාසයේදී යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සාර්ථක නොවීය.
2006 - 2007 කාල පරිච්ඡේදය
සමුපකාර තොග වෙළඳ සංස්ථාව, සමුපකාර ජාලය හා ගොවි සංවිධාන හරහා වී මිලදී ගැනීම පිණිස සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ 2006 වසරේදී ශ්‍රී ලංකා කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි අධිකාරිය ස්ථාපිත කරනු ලැබීය. එහිදී යොදාගත් ක්‍රමවේදය වූයේ කළමනාකරුවන් පස් දෙනෙකු විසින් මෙහෙයවනු ලබන හා සහකාර කොමසාරිස් පස් දෙනෙකු විසින් අධීක්ෂණය කරනු ලබන වගා කලාප පහකින් වී මිලයට ගැනීමය. කෙසේ වෙතත් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොසිටීම හේතුවෙන් එය අසාර්ථක විය.
2008 සිට අද දක්වා කාල පරිච්ඡේදය
වී අලෙවි මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2007.07.25 දින එය අනුමත කරන ලදී. නව අධ්යක්ෂ මණ්ඩලය 2007.09.01 දින පත් කරනු ලැබූ අතර යළි ස්ථාපිත කරනු ලැබූ වී අලෙවි මණ්ඩලයේ පළමු අධ්යක්ෂ මණ්ඩල රැස්වීම 2008.01.09 දින පවත්වන්නට යෙදුණි. ඒ අනුව 2008 යල කන්නයේ සිට වී අලෙවි මණ්ඩලය වී මිලයට ගැනීමේ කටයුතු යළි ඇරඹීය.
ප්‍රධාන ව්‍යාපාරික පසුබිම
ශ්‍රී ලාංකික ජනතාවයේ ප්‍රධාන ආහාරය බත් වන අතර ඔවුනගේ ප්‍රධාන කැලරි ප්රභවය වන්නේ ද එයයි. එබැවින්, වී වගාව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයෙහි වැදගත් භූමිකාවක් ඉටුකරයි. 2011 වසරේදී එය කෘෂිකාර්මික අංශයේ දළ ජාතික නිෂ්පාදනයට සියයට 12 ක සහ සමස්ත දළ ජාතික ආදායමට සියයට 1.7 ක දායකත්වයක් සැපයීය. කෘෂිකර්මාන්තය යටතේ වැඩිම බිම් ප්‍රමාණයක් වෙන්ව ඇත්තේ වී වගාව සඳහා වන අතර 2011 වසරේදී වගා කරනු ලැබූ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 650,000 කට ආසන්න විය. සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තය සඳහා වෙන්වූ මුළු ස්ථිර බිම් කොටසින් සියයට 45 ක් පමණ වී වගාව සිදුවේ. වී ගොවීන්ගෙන් බහුතරයක් එනම් සියයට 70ක් පමණ හෙක්ටයාර් 01 අඩු බිම් ප්‍රමාණයක් සහිත සුළු පරිමාණ වගාකරුවන් වේ. යල සහ මහ ලෙස කන්න දෙකකදී වී වගාව සිදුකරනු ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂික වී නිෂ්පාදනයෙන් සියයට 65 ක් පමණ මහ කන්නයේදී (ඔක්තෝබර් සිට මාර්තු දක්වා) සිදුවන අතර ඉතිරි සියයට 35 යල කන්නයේ (අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා) වගාවෙන් ලබා ගැනේ. වී වගාකරනු ලබන බිම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ ජල සම්පාද්ය (වාරිමාර්ග) තත්වයන් යටතේ සිදුවන අතර වී අස්වැන්න මුළුමණින්ම පාහේ වර්ෂාපතනය මත රඳා පවතී. වී කෙටීමෙන් පසුව එය සහල් ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඒක පුද්ගල සහල් පරිභෝජනය දිනකට ග්‍රෑම් 300 ක් පමණ වන අතර එමගින් දිනකට සපයන කිලෝ කැලරි ප්‍රමාණය 1,050 ක් පමණ වන අතර එය දෛනික ඒක පුද්ගල ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් සියයට 45ක් සපුරාලීමකි. ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වී වගාවෙහි වැදගත්කම සැලකිල්ලට ගනිමින් සියලු රජයන් සහලින් ස්වයංපෝෂිත වීම පිණිස වී වගාව ඉහළ නැංවීම කෙරෙහි ඉහළ අවධානයක් යොමුකර තිබේ. එබැවින් වී වගා අංශය වැඩි දියුණු කිරීමේ අරමුණින් විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇත.
මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘති, ඉඩම් සංවර්ධන හා ජනාවාස යෝජනා ක්‍රම, නොමිලයේ වාරිමාර්ග ජලය සැපයීම, පොහොර සහනාධාර සහ වී සඳහා සහතික මිලක් නියම කිරීම ආදිය මෙම අංශයේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා සිදුකළ ආයෝජනයන්ගෙන් සමහරකි. මෙම ක්‍රියාමාර්ග මගින් රටේ වී වගාව වැඩි දියුණු වී ඇති අතර වත්මනෙහි ස්වයංපෝෂිත මට්ටම කරා ලඟාවීමට හැකිවි තිබේ. ශ්‍රී ලංකාව තුළ, වී නිෂ්පාදනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් අතිරික්තය ලෙස වෙළඳපොළට පැමිණේ. අතිරික්තය අලෙවි කිරීමේදී රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ආයතන ද වැදගත් භූමිකාවක් ඉටුකරයි. කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය මුළුල්ලෙහි මෙකී කණ්ඩායම් විසින් සිදුකරන මෙහෙයුම්වල මට්ටම සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ.